කුරුවිට ප්‍රාදේශිය සභා සීමාව තුල ඇති පූජනීය ස්ථාන
ශ්‍රී පාදය
ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාදස්ථානය බෞද්ධ යන්ගේ පූජනීය වන්දනා ස්ථානයකි. ශ්‍රීපාද කන්ද අවට ප්‍රදේශය විශාල කඳු පන්ති වලින් වටවී ඇත. එහි අලි, කොටි, වලස්සු ආදී සත්වයෝ මෙන්ම ඒකදේශික සත්ව විශේෂ ද ජීවත් වෙති.
ශ්‍රීපාද කන්ද වෙතට මාර්ග 6කින් පමණ ලඟා විය හැක. එම මාර්ග ලෙස රත්නපුර-පලාබද්දල, හැටන්-නල්ලතන්නි, කුරුවිට-එරත්න, මුර්යාවත්ත, මූකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ග හැඳින්විය හැක. මෙම මාර්ග 6 අතරින්, නල්ලතන්නි හා පලාබද්දල මාර්ග 2 ඉතා ප්‍රසිද්ධය.
බෞද්ධයන් විශ්වාස කරන පරිදි බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වරට ලක්දි වට වැඩම කල අවස්කථාවේ සමනල කඳු මුදුනේ උන් වහන්සේගේ වාම සිරි පතුල සලකුණු කොට ඇත. දමිළ වැසියන් ශ්‍රීපාදස්ථානය සලකන්නේ ඔවුන්ගේ දෙවි කෙනෙකු වන ශිව දෙවියන් පා සටහන සලකුණු කොට ඇති ස්ථානය ලෙසයි. නමුත් අනෙකුත් ජනයා විශ්වාස කරන්නේ ආදම් ලෝකයට පැමිණෙන විට ඔහුගේ පා සටහන කඳු මුදුනේ සලකුණු කොට ඇති බවය. ශ්‍රීපාදස්ථානය සමනළ කන්ද ලෙසද හඳුන්වයි. එසේ හදුන්වන්නේ සමනළයන් උන්ගේ වාර්ශික සන්ක්‍රමණයේ දී ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකන බැවිනි. සුමන සමන් දෙවියන් ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකා "සමන්ත කූට" යන නමින් ද ශ්‍රීපාදස්ථානය හදුන්වයි. මීට අමතරව "රත්නගිරි", "ස්වර්ගරෝහනම්" යන නම් වලින් ද ශ්‍රීපාදස්ථානය හදුන්වයි.නමුත් මෙහි සැබෑ අයිතිය සිංහල බෞද්ධයන් සතුය.එය ඔවුන්ගේ වසර 2500 අධික ඉතිහාසය පිරික්සා බැලීමේදී මනාව පැහැදිලි වේ.
දෙල්ගමුව රජ මහා විහාරය
කුරුවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි දෙල්ගමුව රජ මහා විහාරය මෙරට ඉතිහාසමය වශයෙන් වැදගත්වන බෞද්ධ පුදබිමක් සේ සැළකේ. වර්ෂ 43ක කාලයක් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ, ආරක්ෂා සහිතව මෙම විහාරස්ථානයේ සඟවා තැබීම ඊට හේතුව වී තිබේ. කොළඹ-රත්නපුර මාර්ගයේ කුරුවිට නගරයේ සිට කිලෝ මීටරයක් පමණ දුරින් මෙම විහාරය පිහිටා තිබේ.
දෙල්ගමුව රජ මහා විහාරයෙහි ලිඛිත ඉතිහාසය සීතාවක යුගය දක්වා දිවයන්නක් වේ. එසමයේ රචිත රාජාවලිය හා සුළු රාජාවලියෙහි මෙම විහාරය සපරගමු විහාරය ලෙස හඳුන්වා තිබේ. මහාවංශයෙහි දෙල්ගමුව රජ මහා විහාරය හඳුන්වා ඇත්තේ ලබුජගාම විහාරය ලෙසයි. මීට අමතරව අලගියවන්න මුකවැටිතුමන් විසින් රචිත සැවුල් සංදේශයෙහි දෙල්ගමුව විහාරය පිළිබඳවද තොරතුරු සඳහන් කොට තිබේ. කොට්ටේ යුගයේදී මෙම විහාරය ඉතා දියුණු තත්වයක පැවැති බව සඳහන් වේ. මෙම පූජ්‍ය ස්ථානය වඩාත් වැදගත් වන්නේ පෘතුගීසි ආක්‍රමණයෙන් අනතුරුව කෝට්ටේ රජ කළ ධර්මපාල රජු ක්‍රිස්තියානි ආගම වැළඳගත් පසු දළඳා වහන්සේගේ ආරක්ෂාව පතා මායාදුන්නේ රජු විසින් දෙල්ගමුව රජ මහා විහාරයේ දළඳා වහන්සේ සගවා තැබීම හේතුවෙනි. මෙම විහාරස්ථානයේ විශාල කුරහන් ගලක සඟවා දළඳා වහන්සේ ආරක්ෂා කෙරුණු අතර, ඇත් දළවලින් සකස් කළ ව්‍යාජ දළදාවන් දෙකක් පෘතුගීසීන් අතට පත් වන්නට සැලැස් වූ අතර, ඔවුන් ඒවා පෘතුගාලයට ගෙන ගොස් කඩා විනාශ කර දැමූහ. දන්ත ධාතූන් වහන්සේ පරසතුරු උවදුරුවලින් ආරක්ෂා කරගනු වස් සඟවා තබන ලද එම කුරහන්ගල දෙල්ගමු රජ මහා විහාරයේ අදත් සුරක්ෂිතව පවතී. පසු කාලීනව ඓතිහාසික සබරගමු මහ සමන් දෙවොලේ දළදා පෙරහැර පවත්වන ලද අතර, කුරු ගඟෙන් ලැබුණු නිල් මැණිකෙන් කොපුවක් තනා දළඳා වහන්සේ එහි තැන්පත් කෙරුණි.
පළමු වන විමලධර්මසූරිය රජු සිහසුනට පත් වුණු පසු නැවත දළදා වහන්සේ මහනුවරට වැඩම කරවන තෙක් සුරක්ෂිතව පසු වූයේ මෙම දෙල්ගමු රජ මහා විහාරස්ථානයේ වීම නිසා මෙම ස්ථානය බෞද්ධයින්ගේ අතිශය වන්දනීය ස්ථානයක් බවට පත් ව ඇත.
කෙසේ නමුදු පසුකාලීනව මෙම විහාරස්ථානය පෘතුගීසීන් අතින් විනාශයට ලක්වන අතර වර්ථමානයේ පැරණි විහාර නටඹුන් සුළු ප්‍රමාණයක් ශේෂව පවතී. ඒ අතර පැරණි පියගැට පෙළක්, වාහල්කඩ කොටසක්, ආසනඝරයක් හා පැරණි බෝධි වෘක්ෂය දැකගත හැකිවේ. දන්ත ධාතූන් වහන්සේ වසර ගණනාවක් සුරැකිව දරා සිටි ඓතිහාසික කුරහන් ගල පූජනීය වස්තුවක් ලෙස වර්ථමානයේද විහාරයේදී පුද පූජාවට ලක්වේ.දැනට විහාරස්ථානයට අයත් භූමි භාගය තුලදී විහාර මළුව හැරනේනට එවැනි පුරාතන ගොඩනගිලි කිහිපයක පදනම් දක්නට ඇත. එදා දළඳා වහන්සේට රැකවරණය සැලසු ඓතිහාසික කුරහන් ගල අද ද මෙහි දක්නට ලැබේ.මේ පුණ්‍යවන්ත රමණීය විහාරය වැඳපුදා සිත්සතන් පහන් හැඟුමින් පුරවාගන්නට ඔබටත් අප තුටු සිතින් ඇරයුම් කරමු.
ඇල්දොර පත්තිනි දේවාලය
දිවා ගුහාව
වසර සිය ගණනක් බටතොට පුරාණ ගල්ලෙන් විහාරය දිවා ගුහාව ලෙස සලකමින් ජනතාවගේ පුද පූජාවට ලක්‌වෙමින් පැවැති අතර 1995 වර්ෂයේ බටතොට පුරාණ ගල්ලෙන් විහාරයට වැඩම කළ අතිපූජ්‍ය අග්ගමහා පණ්‌ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් වහන්සේ එම ස්‌ථානය පරීක්‍ෂා කොට එම ස්‌ථානය දිවා ගුහාව හෙවත් භගවාලෙන විය හැකි යැයි මතයක් ප්‍රකාශ කළහ. කුරුවිට නගරයේ එරත්න මාර්ගයේ කිලෝ මීටර් 7 ක් ගිය පසු බටතොට හන්දියෙන් හැරී බටතොට විද්‍යාලය අසලින් වැටී ඇති මාර්ගයේ, බටතොට ග්‍රාමයේ වම්පස ඉහළ කඳුවළල්ලේ මෙම පුරාණ බටතොට ලෙන් විහාරය පිහිටා ඇත.
ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ වන්දනා මානයට ලක්‌වෙන බටතොට පුරාණ ගල්ලෙන් විහාරය දිවා ගුහාව ලෙස ප්‍රචලිත වී ඇති බව පූජ්‍යපාද කිරිඇල්ලේ ඥණවිමල මාහිමිපාණන් විසින් රචිත 1967 වසරේ "සබරගමු දර්ශනය" නම් කෘතියේ දිවාගුහාව පිළිබඳව මත ඉදිරිපත් කළහ.
මහාවංශයේ දැක්‌වෙන්නේ බුදුරජාණන් වහන්සේ දිවා විහරණය කළේ පර්වත ප්‍රාන්තය බවයි. මහාවංශයේ 79 ගාථා ඊට සාක්‍ෂි දරයි.
දිවා ගුහාව සල්මල්, ගස්‌වලින් පිරි නොයෙක් පලතුරු වෘක්‌ෂයන්ගෙන් ගැවසුන පෙදෙසක පිහිටා ඇත. බටතොට පුරාණ ලෙන් විහාරයේ පවතින වසරේ දින 365 මහා පරිමාණයෙන් සල්මල් පිපෙන සල් අරණින් පවතින අතර ලෙන් දොර අභියස පිහිටි විශාල සල් ගසක වසරේ දින 365 ම මල් පිපී පවතී. ලෙන තුළ සිසිලස පැවතීමට මෙන්ම පැන් පහසුව සඳහා ලෙන මැද පිහිටි ගල්වලට ඉතා පිරිසිදු දිය වැල අඛණ්‌ඩව කඩා වැටීමෙන් පොකුණේ එක් රැස්‌ව පවතී. දිවා කාලයේද ඉතා හොඳින් හිරුඑළිය ලෙන තුළට ගලා ඒම නිසාත් රාත්‍රි කාලයට ඉතා හොඳින් සඳඑළිය පතිත වන නිසාත් ලෙනෙහි අන්ධකාරය බැහැරව පවතී. සියවස් ගණනාවක් ඉපැරැණි 18 රියන් සැතපෙන බුදුපිළිම වහන්සේ නිමවා ඇත්තේ මැටි විශේෂයකිනි. එහි මකර තොරණ හා පිළිම මැටි විශේෂයකින් ඉදිකර ඇත.
සබරගමු පළාතේ ඓතිහාසික විශාලතම ලෙන් විහාරයක් වන මෙම බටතොට පුරාණ ගල්ලෙන් විහාරයෙන් දිවා ගුහාවට අවශ්‍ය ඓතිහාසික සාධක හමුව තිබේ. දිගින් අඩි 150 ක් ද, පලළින් අඩි 67 ක් ද, උසින් අඩි 50 ක් ද වන මෙම ගුහාව තුළ දහසක පමණ පිරිසකට එකට විවේක ගැනීමේ පහසුකම් සහිතය.
බුදුන් ප්‍රමුඛ මහ රහතුන් 500 නමක් සිරිපා සටහන තැබීමට සමන් ගිරට වැඩමවීමෙන් අනතුරුව දිවා විහරණය කළ ගල්ලෙන දිවා ගුහාව යනුවෙන් හැදින්වෙන අතර, මෙය සොලොස් මස්ථානයේ පස් වන ස්ථානයයි. වසර දෙදහස් පන්සියයක් පමණ ගත වන තුරු නියත වශයෙන් නොව අනුමාන වශයෙන් දිවාගුහාව නමින් ස්ථානයක් සොයා ගෙන නොතිබුණි. ඒ දක්වා පැවතියේ ජනප්‍රවාද හා කටකතාවෙන් පැමිණි අදහස් රැසක් පමණි.
බටතොට පුරාණ ලෙන් විහාරාධිපති කෑගලු දිසාවේ අධිකරණ සංඝනායක විහාරාධිපති පූජ්‍ය මෙනේරිපිටියේ චන්ද්‍රරතන නාහිමි මෙලෙස සඳහන් කළහ.
"තුන්කල් දුටු අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහානාහිමියන් මෙම ස්‌ථානයට වැඩමකර මෙහි ඇති අතීතාවර්ජනය සලකා මෙය බුදුන් වැඩ සිටි දිවා ගුහාව විය හැකි යන්න ප්‍රකාශ කළා. ඒ පමණින් මෙය දිවා ගුහාව ලෙස පිළිගැනීමට යෑයි අපි කිසිසේත්ම බෞද්ධ ජනතාවට කියන්නේ නැහැ. මෙතැනට ඇවිත් බලන්න, ගවේෂණය කරන්න, එහි තීරණ ගැනීම බැතිමතුන් සතු දෙයක්. සියවස් ගණනක් ඉපැරැණි මෙවැනි ස්‌ථාන සංරක්‍ෂණය කරමින් බැතිමතුන්ගේ වන්දනා මානයට ඉඩ සලසාදීම අප සතු වගකීමක් යැයි පූජ්‍ය මෙනේරිපිටියේ චන්ද්‍රරතන නාහිමිපාණෝ වදාළ සේක.
කිරිඇල්ල නැදුන් රජමහා විහාරස්ථානය
කිරිඇල්ල නැදුන් රජමහා විහාරස්ථානය පිහිටා ඇත්තේ රත්නපුරු දිස්ත්‍රික්කයේ කුරුවිට කෝරළයේ ය. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සිට සැතපුම් 6ක් පමණ දුරින් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති මෙම පූජා භූමිය පිළිබඳ ගැඹුරු ඉතිහාසයක් ඇත. මෙය පානදුර -රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඉඩංගොඩ හන්දියේ සිට කි.මී.02 පමණ දුරින් පිහිටා පවතී.
කිරිඇල්ල නැදුන් රජමහා විහාරය සීතාවක පළමුවෙනි රාජසිංහ රජු සමයෙහි සිට ප්‍රසිද්ධියක් උසුලයි. ක්‍රි.ව 1581 සිට 1593 වකවානුවේ පළමුවෙනි රාජසිංහ රජු හින්දු ආගම වැලද ගැනීම නිසා මෙම විහාරය ද හුදෙකලා වූ බව පැවසේ.
සබරගමු පලාතේ පිහිටා ඇති ප්‍රධාන මල්වතු මහා විහාර පාර්ශවයට අයත් සියම් මහා නිකායික විහාරස්ථාන පහෙන් එකක් ලෙස ‘කිරිඇල්ලේ නැදුන් රජ මහා විහාරය’ නම් දරා තිබේ. ලක් දිව අවසන් වරට රජ කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් සිය ආරාධනය අනුව මුතුවන් අකුරින් ධර්ම ග්‍රන්ථය ලියා දීම ගැන සතුටට පත්වී එම ග්‍රන්ථය රචනා කළ උගත් ධර්මධර භික්ෂුන් වහන්සේ නමක් වූ කරඳන දේව රක්ඛිත මහා ස්ථවිරයන් වහන්සේට ව්‍යංජනයට ‘මියනදළු’ කඩා ගැනීම සඳහා ඉඩම් කැබැල්ලක් පූජා කොට ඇත. මෙය අක්කර 12000 ක් පමණ වන නින්ද ගමකි. මෙම භුමි භාගය ආශ්‍රිතව ‘නැදුන් රජ මහා විහාරය’ පිහිටා ඇත.
ගං වතුරට ඔරොත්තු දෙන ලෙස නැදුන් ලීයෙන් මෙම විහාරය නිම කර තිබීම සුවිශේෂ කරුණකි. ලංකාවේ විශාල ම හා සුවිශේෂ ලක්ෂණයන්ගෙන් යුත් ඇත්දළ යුගලය ද මෙම විහාරය සතුව ඇත. මෙම ඇත්දළ යුගලයේ උස අඩි 7 අඟල් 7ක් පමණ වේ.
මෙකල වැඩසිටි උඩකරඳන දේව රක්ඛිත නම් හිමිනමකගේ අත් අකුරු කලාව ගැන පැහැදුණු පළමුවෙනි රාජසිංහ රජු තමන්ට මැදුම් සඟියක් ලියා දෙන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා ඇත. එම ඉල්ලීම පරිදි මැදුම් සඟිය නම් ග්‍රන්ථය ලියා රජුට පිළිගැන්වීම නිසා සතුටට පත් පළවෙනි රාජසිංහ රජු විසින් අක්කර 8305 පමණ නින්දගමක් දේවරක්ඛිත හිමිට පූජා කොට ඇත. මෙම ලියවිල්ල සබරගමු මහනුවර දිසා ඇමති ලෙස කටයතු කළ අබයකෝන් මුදියන්සේ විසින් රාජ නියෝග මත ලියවා අත්සන් කර දී ඇත. මෙම ලේඛනයට අනුව මෙම දේපල සඳහා උරුමය නැදුන් රජමහා විහාරවාසී භික්ෂූන්ට පමණි.
මෙම විහාරයේ විහාර මන්දිර තුනකි. ඉන් එක් විහාරයක් ටැම්පිට විහාරයකි. එම විහාරය නැදුන් ලීයෙන් තනා ඇත. නැදුන් ලීයෙන් තනා ඇති බුද්ධ ප්‍රතිමාවක් එහි දක්නට ඇත. එය නැදුන් ලීයෙන් සාදන ලද ආසනයක් මත තැන්පත් කර ඇත. සීතාවක යුගයේ දේව සංකල්පය ඉස්මතු වූ බැවින් සමන්-විශ්ණු දේව පිහිට දක්නට ඇත. විහාරයේ මල් ආසන කිරි ගරුඩ වලින් නිමකර ඇත.
බෝධිමළුව ඓතිහාසික නාගස
සබරගමුව පළාතේ පුරා වසර 1000 ක් පමණ ඈතට දිවයන ඉතිහාසයක් ඇති ජාතික ආගමික හා සංස්කෘතික වශයෙන්ද හාස්කම් රැසකට උරුමකම් කියන පරකඩුව බෝධිමළුව ශ්‍රී නාගබෝධි විහාරයේ පිහිටි ඉපැරණි නා වෘක්ෂය විශාලතමවූත් පූජනීයත්වයට පාත්‍රවුත් ඓතිහාසික උරුමයකි. ප්‍රදේශවාසීන්ගේ මෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ගේද ගෞරවයට පාත්‍ර වී ඇති මෙම නා ගස කොළඹ රත්නපුර මාර්ගයේ ගමන් ගන්නෙකුට පහසුවෙන් දැක ගත හැකි ය.
කොළඹ- රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇහැලියගොඩ නගරය පසුකර කිලෝ මීටර් 5 ක් පමණ ගිය පසු ප්‍රධාන මාර්ගයේ දකුණු පසින් බෝධිමළුව ශ්‍රී නාගබෝධි විහාරය හමුවේ. වර්තමානයේ ඉතා අලංකාර විහාරස්‌ථානයක් වන බෝධිමළුව විහාරය එහි අලංකාරය මෙන් ම පෞඪ ඉතිහාසයකට උරුමකම් කියන්නේය. මෙම විහාරයේ විශේෂිත වූ දසුන වන්නේ විශාල ලෝහමය ආධාරයකින් මැදි වූ අඩි 100ක් පමණ උසකින් යුත් පැරණි නා ගසයි. වර්ෂ 1993 අංක 49 දරණ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂා (සංශෝධිත)පනත යටතේ සුරක්ෂිතව පවතින වෘක්ෂයන් පහෙන් තුන්වන වෘක්ෂය වන මෙම ඓතිහාසික නා ගස වසර1000ට වඩා පැරණිය. මෙම ගස අඩි 100 කින් පමණ උසින් යුක්‌ත ය. වට අඩි 18 ක් පමණ විශාල ගසේ පෞරාණික බව පැහැදිලිව පෙනෙන කරුණක් ලෙස අඩි 18 ක් පමණ තරමක උස බෙනයක් ස්‌වභාවිකව සැකසී ඇත.
මෙම විහාරස්‌ථානයේ පූජනීය අතින් වැදගත් වන වන්නේ බෞද්ධයන්ගේ මුදුන්මල්කඩවන් දන්ත ධාතූන් වහන්සේ පරසතුරන්ගෙන් ආරක්‍ෂා කිරීම සඳහා සීතාවක සිට කුරුවිට දෙල්ගමුව විහාරස්‌ථානයට වැඩම කරවන අතරතුර ධාතූන් වහන්සේ භාරව ගමන් කළ එදිරිල්ලේ රාළ (දියවඩන නිළමේ) හා සහායකයන් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මේ නා ගස් සෙවණේ වඩා හිඳුවා ගිමන් හරිමින් රැයක් ගත කළ බවට ද ඉතිහාසයේ සඳහන් වෙයි. පසු කලෙක එල්ල වූ පරංගි ආක්‍රමණයන්ගේ ඇති වූ හානි අනුව මෙම විහාරස්‌ථානයේ නාගස හැර අනෙකුත් ඓතිහාසික වශයෙන් වැදගත් විශාල වස්‌තූන් සම්භාරයක් විනාශයට පත් වී ඇත.
කාලයක් තිස්‌සේ විශාල ජනතාවකගේ වන්දනාමානයට පුද පූජාවලට ලක් වූ මෙම ඵෙතිහාසික වෘක්‍ෂයෙහි ගුප්ත බලවේගයක් පවතින බවත් භාර හාර වූවන්ට සෙත සැලසුන බවත් පැරණි ජනතාව අතර ප්‍රචලිත කරුණකි. මෙම නාගසට යාබද පිහිටි ගම්භාර දේවාලය මෙම නාග බෝධිය නිසාම ඉදි වූවකි. මෙහි ගම්භාර සිද්ධ සූනියම් බලය තවමත් ආශ්චර්යක්ව පවතී.
මෙම නාගස ඉදිරී යැමේ අවදානමක් මතු වූ අතර ඒ අනුව රාජ්‍ය අනුග්‍රහය ඇතිව ලංකා ඉංජිනේරු සංස්‌ථාව මඟින් රුපියල් ලක්‍ෂ 12 ක් පමණ වැය කර ඉතා වටිනා ලෝහමය ආධාරක 3 ක් ඉදිකර මෙම නාග බෝධිය රුකුල් දී ඇත. එමෙන්ම මෙම වෘක්‍ෂය පේරාදෙණිය උද්භිද උද්‍යානයේ නිලධාරීන්ගේ නිරන්තර පරීක්‍ෂාවට ලක් කෙරෙන ශාකයකි. මෙම ගමට බෝධිමළුව නම් නම පටබැඳී ඇත්තේ ද මෙම නාග බෝධිය නිසා බව මතයක් පවතී.
වසර දහසක් තරම් පෞරාණික මෙම නාගස සපරගමුව වංශකතාවට පමණක් නොව මුළු මහත් ලංකාද්වීපයටම ආඩම්බරයකි. ගෞරවයට හේතු වන්නකි. ඉදිරියට ද තවත් ශතවර්ෂාදික කාලයක් නිදුකින් නිරෝගීමත්ව වැඩ හිඳිමින් අනාගත පරපුරටද දැක බලා ගැනීමටත් වන්දනා මාන කර ගැනීමටත් ආරක්‍ෂා කර ගැනීම අප හැමගේ වගකීමකි.
දෙවිපහල ඓතිහාසික නා ගස
කොළඹ- රත්නපුර මාර්ගයේ කොළඹ දෙසින් පැමිණෙන විට කුරුවිට හිග්ගස්හේන නැමති ස්ථානයෙන් වම්පසින් ඇති මර්ගයෙන් දෙවිපහල දක්වා ගමන් කොට දෙවිපහල විද්‍යාලය අසලින් දෙමැද මාර්ගයේ කි.මී. 1/2 පමණ ගිය තැන මෙම ස්ථානය දක්නට ඇත..
වසර දහසකට වඩා පැරණි බවට විශ්වාස කෙරෙන දෙවිපහල ඓතිහාසික නාගස වෘක්ෂ ස්මාරකයක් වශයෙන් නම්කර තිබේ.ඉකුත් කාලයේ මෙම නාගස විනාශවීමේ අවදානමට ලක්වීම නිසා එය සංරක්ෂණය කරදෙන ලෙස ගම්වැසියන් විසින් අදාල සියළුම අංශයන්ගෙන් ඉල්ලා තිබිණි. ඒ පිලිබඳව අවධානය යොමුකල රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට යොමුකිරීමෙන් පසුව වෘක්ෂ ස්මාරකයක් ලෙස නම්කර තිබෙන අතර එය සංරක්ෂණය කිරිමට පවරා තිබෙන්නේ උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුවටයි.
ජනප්‍රවාදයේ පැවසෙන පරිදි සමන් දෙවිඳුන්ගේ ආභරණත්, සළුවත් මෙම නාගස මුදුනේ තිබි එහි දිස්නය ඇලට වැටි තිබෙනු එහි ගිය පුද්ගලයකු දැක ඇත.මෙසේ දිස්නය විහිදුවමින් දින තුනක් තිස්සේ නාගසේ තිබූ ආභරණ හා සළුව පසුව සමන් දේවාලයට වැඩි බවද පැවසේ. එදා සිට දෙවියන් පහල වු තැන,“දෙවිපහල“ ලෙස ව්‍යවහාර වන බවද දැක්වේ.එකමුතු අවමංගල්‍යාධාර සමිතියේ හා පරිත්‍යාගශිලින්ගේ උපකාර ඇතිව මෙම ස්ථානයේ බුදුමැදුරක්ද ඉදිකර තිබේ. ඉතා විශාල මෙම නා ගස පිහිටි ස්ථානය වර්තමානයේ පාංශු ඛාදනයට ලක්ව ඇති අතර, එබැවින් එය ආරක්ෂා කළ යුතුව තිබේ. මෙම ස්ථානයේ සිදුකරන පුදපූජා,භාරහාරවලින් තම අපේක්ෂාවන් ඉටුවන බවට විශ්වාසයක්ද ගම්වැසියන් අතර ගොඩනැගී ඇත.
කීරගල ගල්ලෙන් විහාරය