කුරුවිට ප්‍රදේශයේ ඉතිහාසය
ප්‍රාග් ඓතිහාසික තත්ත්වය
කුරුවිට ප්‍රදේශයෙන් සොයාගෙන ඇති මානව ඉතිහාසය වූ කලී වසර 30,000ක පමණ පෞරාණිකත්වයක් කරා දිවයන්නකි. ක්‍රි.ව. 1940 දී පමණ කුරුවිට ප්‍රදේශයේ උතුරු එක්නැළිගොඩ වසමේ විතානකන්ද පිහිටි බටදොඹලෙන, මහාචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතාගේ විශේෂ පරීක්ෂණයට ලක් විය. මෙහිදී සොයාගත් මානව පොසිල කොටස් මගින් වැදගත් පූර්ව ඓතිහාසික තොරතුරු රැසක් අනාවරණය වී ඇත. වානර තත්ත්වයෙන් මිදුණු මානවයෙකු මෙන්ම දියුණු මානව ලක්ෂණ පෙන්වා ඇති බැවින් මාහාචාර්ය දැරණියගලයන් විසින් මේ මානවයා විද්‍යාත්මක වශයෙන් "හෝමෝ සේපියන් බලන්ගොඩෙන්සිස්" (Homo Sapiens Balangodansis) හෙවත් බලංගොඩ මානවයා (Balangoda Man) යනුවෙන් නම් කරන ලදී. එසේ ම ලෙන ආශ්‍රිතව සිදු කළ කැණීම් මගින් මධ්‍යශිලා යුගයට අයත් ඇට සැකිලිවලට අමතරව ක්ෂුද්‍ර ශිලා මෙවලම් හා දඩයම් කළ සතුන්ගේ සාධක ද හමු වී ඇත. පසු කාලීනව ආචාර්ය ශිරාන් දැරණියගල මහතා විසින් ද (1980 – 1984) මෙහි කැණීම් සිදු කර ඇත. එමෙන් ම කුරුවිට බටතොට ලෙන හෙවත් දිවා ගුහාව වශයෙන් හැඳින්වෙන ස්ථානයෙන් ද ප්‍රාග් මානව අවශේෂ හමු වි ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ය සංක්‍රමණයෙන් පසුව රාජාවලිය සමඟ විවිධාකාරයෙන් කුරුවිට ජන සමාජය බැඳී සිටි අතර, කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයෙහි මෙම ප්‍රදේශයට විශේෂ වැදගත්කමක් හිමි වේ. ඒ ඓතිහාසික දෙල්ගමුව රජ මහා විහාරය හේතුවෙනි. අතීතයේ දී විහාර භූමියට ගිනිකොණ දෙසින් දළදාවහන්සේට මල් සැපයූ 'මල්වත්තඕවිට' නම් රාජකීය මල් වත්ත පිහිටා තිබී ඇත. විහාරයට බටහිර දෙසින් 'ගල්කඩදෙණිය' පිහිටා ඇති අතර, දෙල්ගමු විහාරය තැනීමට ගල් කඩා ඇත්තේ මෙම ප්‍රදේශයෙනි. රාජාවලියේ දී මෙම පුදබිම හඳුන්වා දී ඇත්තේ "සබරගමු විහාරය" නමිනි. මෙහි ඉතිහාසය කෝට්ටේ යුගයටත් එහා අතීතයකට දිවයයි.
ශ්‍රී දළදා වහන්සේ මෙරටට වැඩම කරවූ දා සිට දළදා වහන්සේ, ලංකා රාජ්‍ය පාලනය කළ පාලකයින්ගේ රාජ්‍යත්වයේ සංකේතය බවට පත් විණි. ක්‍රි. ව. 1505 නොවැම්බර් 15 වැනි දින පෘතුගීසීන්ගේ මෙරට ආගමනයත් සමඟ රටේ ඇති වූ ව්‍යාකූලත්වය මත දළදා වහන්සේගේ ආරක්ෂාව පිණිස සීතාවක රජු වූ මායාදුන්නේ රජු විසින් දළදා වහන්සේ දෙල්ගමුව විහාරයට වැඩමවා එහි තිබූ කුරහන් ගලක සඟවා තැබී ය. මෙලෙස පුරා වසර 43ක් දෙල්ගමුව විහාරයේ පුද සත්කාර ලබමින් දළදා වහන්සේ වැඩ සිටින ලදී.
එසේ ම ප්‍රධානතම මෙන්ම ඉතා අලංකෘත වූ ශ්‍රී පාද මාර්ගයක් ද කුරුවිට නගරයේ සිට එරත්න හරහා වැටී තිබීම ද ඓතිහාසිකව සුවිශේෂී වේ. මෙසේ කුරුවිට මාර්ගයෙන් පැමිණෙන වන්දනාකරුවන්ට කුරුවිට දුම්රියපළ අසල අම්බලමක් විය. අනතුරුව එරත්න පාරෙන් ගිය ද හැරමිටිපානේ දී රත්නපුර මාර්ගයත් කුරුවිට මාර්ගයත් එක් වේ.
කුරුවිට බලකොටුව
කුරුවිට හා බටුගෙදර යන ස්ථානවල පෘතුගීසි බලකොටු ඉදිකර "සැල්වදෝර් පෙරෙයිරා" යන කපිතාන්වරයා යටතේ භටයන් 100කින් යුත් බල ඇණියක් නතර කර තිබූ බව සඳහන් වේ. විමලධර්මසූරිය රජුගෙන් ආධාර ලැබූ පහතරට කැරළිකරුවෝ ක්‍රි. ව. 1597 මුල් භාගයේ දී ඇත් හමුදාවක් ද සහිතව 400ක භට හමුදාවක් ගෙන කුරුවිට බලකොටුව වටලන ලදහ. මෙහිදී අසමෙයිදුගේ සහාය ඇතිව සැල්වදෝර් පෙරෙයිරා සටන් කොට සිංහල හමුදාව පසු බැස්සවීය. මේ හේතුව නිසා සිංහලයෝ සැල්වදෝර් පෙරෙයිරාට "කුරුවිට කප්පිත්තා" යන නම පටබඳිනු ලැබීය.
කුරුවිට රාළ
පුරාවෘත්තයක් වන අන්තෝනියෝ බරෙත්තු පිළිබඳවත්, ඔහුගේ හමුදාමය දක්ෂතාවය සහ නිර්භීතභාවය පිළිබඳවත් ලංකාවේ බොහෝ ඓතිහාසික ලේඛනවල සඳහන් වේ. බැල්දියස්ගේ 'Description of Ceylon', ෆර්නෑන්ඩු ක්වේරෝස් පියතුමාගේ 'The Conquest of Ceylon', පාවුල් ඊ. පීරිස්ගේ 'පෘතුගීසි යුගය', එස්. ජී.පෙරේරා පියතුමාගේ 'Ceylon History', අලගියවන්න මොහොට්ටාලගේ 'කොන්ස්තන්තීනු හටන' ඒ ලේඛනවලින් කීපයකි.
අන්තෝනියෝ බරෙත්තු උපන්නේ හලාවතට නුදුරින් පිහිටි මාදම්පේ කඩුපිටි ගම්මානයේ ය. විටෙක ඔහු 'කරාවා බරෙත්තු' ලෙසත්, විටෙක 'පරවාර් බරෙත්තු' ලෙසත් ආමන්ත්‍රණය කර ඇත. බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙන් හමු වූ 'අවිශ්වාසමාලෛයි' හෙවත් නාගසිංහත් ලියූ පුස්කොළපොත් කට්ටලය සහ අලගියවන්න මොහොට්ටාල විසින් රචිත 'කොන්ස්තන්තීනු හටන' යන දෙකම මේ මිනිසාගේ ශ්‍රේෂඨ ක්‍රියාවන් විස්තර කරන (ගද්‍යෙයෙන් ලියැවුණු) කෘති වේ. මේ කෘති දෙකම පෘතුගීසි දෘෂ්ටිකෝණයකින් ලියා ඇත. සෙනරත් රජු සහ අන්තෝනියෝ බරෙත්තු අතර වරෙක ඝට්ටනකාරී බවක් ඇති කිරීමටද පෙර ලියවිල්ල භාවිත කර ඇත.
අන්තෝනියෝ බරෙත්තුගේ කතාව - කොන්ස්තන්තීනු හටන
අන්තෝනියෝ බරෙත්තු පෘතුගීසි හමුදාවේ සිංහල හමුදාවට අනුයුක්තව සිටි සුවිශේෂී සොල්දාදුවෙකු වූ අතර, ශ්‍රේෂ්ඨ දොන් ප්‍රනාන්දු සමරකෝන් රාළ මුදලියාර් යටතේ සේවය කළේය. සමරකෝන් මුදලියාර්ගේ සහෝදරයාගේ මරණයට හේතු වූ ආරවුලෙන් පසුව අන්තෝනියෝ හමුදාව හැර ගිය අතර, පසු කාලීනව කුරුවිට ප්‍රදේශයේත්, පසුව අවිස්සාවේල්ල (සීතාවක), මාතර සහ සබරගමුවේ ප්‍රදේශවලත් ප්‍රබල නායකයෙකු ලෙස මතු විය. මේ වන විට කුරුවිට රාළ නමින් හැඳින්වූ අන්තෝනියෝ පසුව මෙම ප්‍රදේශවල පාලකයා බවට පත් විය.
පෘතුගීසීන් යටතේ කුඩා ආරම්භයක් ඇති බරෙත්තු පෘතුගීසීන්ට විරුද්ධ වෙමින් ඔවුන්ට හිරිහැර කිරීමට පටන් ගත්තේය. පෘතුගීසීන් බරෙත්තුට එරෙහි ප්‍රහාර වලක්වමින් සිටියේ ඔවුන්ගේ ශක්තිය හා සම්පත් අවශ්‍ය වූ බැවිනි. පෘතුගීසීන්ගෙන් එල්ල විය හැකි තර්ජනය දැන සිටි අන්තෝනියෝ, මහනුවර සෙනරත් රජුගේ විශ්වාසය දිනාගත් අතර, පසුව උප රජු (යුව රාජ) ලෙස ඌවේ රාජ්‍යය භාර ගත්තේ ය.
පෘතුගීසීන් සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට උත්සාහ කළ සෙනරත් රජුට අවසානයේ පෘතුගීසීන්ට බදු ගෙවීමට සිදු වූවා මෙන් ම ඔවුන් අතර අප්‍රසාදයට ද ලක් විය. මෙම තත්ත්වය බරෙත්තුගේ නායකත්වයෙන් යුත් කැරැල්ලකට තුඩු දුන් අතර, එය සෙනරත් රජු බලයෙන් පහ කිරීමට හේතු විය. මෙය ඉන්දියාවට පිටුවහල් කරන ලද මායාදුන්නේට බලයට පැමිණීමට උපකාරී විය.
මෙම විශිෂ්ට මිනිසාගේ ජීවිතය 1620දී අවසන් විය. වසර 18ක අරගලයකින් පසු අල්ලා ගන්නා ලද ඔහු මාතර දිසාව විසින් ප්‍රසිද්ධියේ ඝාතනය කරන ලදී.
දෝන කැතරිනා (History of Ceylon කෘතියෙන්)
ඔටුන්න හිමි වූ බව කියන දොන් ජෝන් විමලධර්මසූරියගේ සහ දෝන කැතරිනාගේ පුත් මහා අස්ථාන කුමරු 1612 අගෝස්තු 22 දින මිය ගියේ තම සුළු පියා විසින් විෂ ලබා දීම හේතුවෙනි. ඊට හේතුව වූයේ තමන්ගේ ම පුතෙකුට ඔටුන්න ලබා ගැනීමට ඔහුට අවශ්‍ය වූ බැවිනි.
තම පුත්‍රයාගේ වියෝවෙන් බොහෝ සෙයින් පීඩාවට පත් වූ දෝන කැතරිනා අධිරාජිනිය, ඔහුගේ මරණයෙන් පසු කිසිඳු ආහාරයක් නොගත් අතර, ඇයගේ අවසානය ළංව ඇති බව වටහාගෙන, 1613 ජූලි මාසයේ දී මග්ගොන කුමරු සහ ඌවේ කුමරු හෙවත් අන්තෝනියෝ බරෙත්තු වෙත යවන ලදී. ඔවුන්ගෙන් විශ්වාසවන්තභාවය තහවුරු කරගත් පසු ඇය තම දරුවන්ගේ භාරකරුවන් බවට ඔවුන්ව පත් කර ඇත. එසේ ම ස්ථිරව හා ආදරයෙන් ඔහුව ආරක්ෂා කරන ලෙස ඇය ඉහත සඳහන් කළ ප්‍රධානීන් දෙදෙනාට දැඩි ලෙස අණ කළා ය.
මින් අනතුරුව ඇය තම සැමියා තමාව මරණයට පත් කිරීමට උත්සාහ කළ බවට පදනම් විරහිත චෝදනාවක් එල්ල කළාය. නමුත් එය ඇගේ සැමියා විසින් දැඩි ලෙස සිතට ගැනීම හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය පිරිහීමට ලක් විය. අධිරාජානිය1613 ජූලි 20 මරණයට පත් විය. මියගිය දිනට පසු දින ඇයගේ අවමංගල්‍ය කටයුතු ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදු කරනු ලැබූයේ ඊට ටික කලකට පෙර ඇගේ පුත්‍රයාගේ අවමංගල්‍ය කටයුතු සිදු කළ ස්ථානයේදීම ය.
අධිරාජිනියගේ මරණයෙන් පසු, අධිරාජ්‍යයාගේ අසනීප තත්ත්වය කෙතරම් උත්සන්නවී ද යත්, ඔහු තම නියෝගයෙන් වංශාධිපතීන් එක්රැස් කර, තම පුත්‍රයාගේ සුළුතරය තුල රාජධානිය පාලනය කිරීම සඳහා ඔවුන්ගේ නියෝගයෙන් දෙදෙනෙකු තෝරා ගන්නා ලෙස ඉල්ලා සිටියේ ය. මෙහි දී ඔවුන් තෝරා ගත්තේ මග්ගොන කුමරු හා උවේ කුමරු (කුරුවිට රාළ) ය. ඒ අනුව ඔවුන් කුමාරයාගේ සුළුතරය තුල උත්තරීතර පරිපාලනය ක්‍රියාත්මක කිරීම සඳහා ගාම්භීරව පත් කරන ලදී. ඒ අතර අධිරාජ්‍යයා තම දරුවන්ට දැඩි ලෙස අවවාද කරනු ලැබුවේ ඔවුන් පාලනයට යටත්ව සිටිනතාක් කල් රාජධානියේ මෙම භාරකරුවන්ට කීකරු වන ලෙසිනි.
සෙනෙවිරත් ඉක්මනින්ම අවසන් හුස්ම හෙලනු ඇතැයි අපේක්ෂා කිරීමට මෙම දර්ශනය ස්වභාවයෙන්ම අපව පෙළඹවුව ද, මග්ගොන කුමරු හා ඌවේ කුමරු (අන්තෝනියෝ බරෙත්තු) හෙවත් කුරුවිට රාළ යන ප්‍රධානීන් දෙදෙනාට මෙසේ පරමාධිපත්‍යය පැවරීමෙන් පසුවත් ඔහු වසර කිහිපයක් ජීවත් වීමට සමත් විය.
කිරිඇල්ල ප්‍රදේශයේ ඓතිහාසික වැදගත්කම
ඇල්ලේ දේවාලය මුල් කරගෙන සැදුම් ලත් ඇල්ලේ කපුරාලලාගේ පරම්පරාව ඇල්ලගාව ග්‍රාම නිලධාරී වසමෙහි මුල් පදිංචිකරුවන් ලෙස සැලකිය හැකිය. යටිපව්ව ග්‍රාම නිලධාරී වසමේ නැගෙනහිර පසින් කොදාගල කඳු පර්වතය පිහිටා ඇත. එයට පහළින් එය පාමුල පිහිටි හෙයින් යටිපව්ව යන නම මෙම ග්‍රාමයට යොදා ඇත. එහි මුල් පරම්පරාව හැටියට අමරසිංහ ආරච්චිගේ පරම්පරාව සහ අතුකෝරළ පරම්පරාව හැඳින්විය හැකිය. පතිරි ආරච්චිගේ යනුවෙන් තුන්වෙනි පරම්පරාවක් ද පසු කාලයක බිහි වී ඇත. මුණිහින්කන්ද වර්තමානයේ මුණසිංහපුර යනුවෙන් භාවිතා වේ. මුණහින්කන්ද පරම්පරාවෙන් පැවත එන ජන කොටසක් මෙහි පදිංචි වී සිටී.
දැනට කිරිඇල්ල පරණ පොලීසිය අසලින් පටන් ගන්නා රජ මාවත වැටී ඇත්තේ හාන්දුකන්ද ග්‍රාම නිලධාරී වසමෙහි කොඩිතුවක්කුකන්ද ගම හරහා ය. රාජසිංහ රජතුමා එම මාර්ගයේ ගමන් කළ බවත්, එම මාර්ගයේ දෙපස නා පැළ සිටවූ බවත් සඳහන් ය. පැරණි රජ සමයේ සටන්වලදී කොඩියත්, තුවක්කුවත් ගෙන පෙරට ගියේ මෙම ගම්වාසීන් බවත්, ඔවුනට කොඩිතුවක්කුකන්ද නමින් ගම්වරයක් වෙන් කළ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. කබරගලකන්ද මුදුනින් එම ගල මතට දිය ඇල්ලක් වැටේ. එම දිය ඇල්ල අතීතයේ දී කිරිපාටට ඇදහැලීම නිසා කිරිඇල්ල ගමෙහි නම නිර්මාණය වී ඇත.
මෑත කාලීන ඉතිහාසය
භූ විද්‍යාත්මක හා පාරිසරික වශයෙන් ද ගත් කල පර්යේෂණවලට ඉඩ සලසා ඇති කුරුවිට ප්‍රදේශයේ වර්තමාන ඉතිහාසය මහනුවර රාජධානිය සමයේ සිට දැක්විය හැකිය.
ප්‍රථමයෙන්ම කුරුවිට ප්‍රදේශය අයත්ව ඇති සබරගමුව පළාත පිළිබඳව අවධානය යොමු කිරීම මැනවි.
'සබරගමුව' හැඳින්වීමට 'සපරගමු', 'සබරගමු' යන දෙවදන්ම අඩුවැඩි වශයෙන් පුරාණ ලේඛණවල දක්වා ඇත. එම නම ඇති වීමට හේතුව ලෙස විවිධ මත කිහිපයක් ම "සබරගමු දර්ශනය" (වෙළුම I) කෘතියේ දක්වා ඇත.
01. 'සබර' යනු වැද්දන් උදෙසා යෙදෙන පදයකි. මේ ප්‍රදේශයේ අතීතයේ බහුලව වාසය කළ වැදි ජනයා නිසා මෙය 'සබරගමු' වීය. එය ම 'සපරගමු' ලෙසද ව්‍යවහාර වීය.
02. අතීතයේ සිටම මෙරට ග්‍රීක් රට සමඟ සබඳතා විය. මෙම ප්‍රදේශයේ සුලභව නිල් මැණික් දක්නට ලැබීමත්, ග්‍රීක භාෂාවේ 'සැෆිරෝස්' (Sappheiros) ලෙස නිල් මැණික් බහුල ප්‍රදේශය හැඳින්වීමත් සමඟ, පසුව මෙය 'සපරගමු' විය.
03. මේ ප්‍රදේශයේ ජලාශවල 'පෙටියන්' (සඵර) බහුල වීම නිසා 'සපර' විය.
04. මේ ප්‍රදේශයේ වනාන්තරවල 'ලොත්' (සබර) ගස් බහුල වීම නිසා මේ නම ලැබීම.
05. 'සරබගමුව - සබරගමුව' විය. 'සරබ' යනු වෙළෙන්දෝ ය. මෙහි මැණික් වෙළෙන්දන් පැමිණීම නිතර සිදුවීම ඊට හේතුව ලෙස දක්වයි.
මහනුවර රාජ්‍ය සමයේ ත්‍රී සිංහලය රුහුණු, පිහිටි, මායා ලෙස බෙදා තිබුණි. එයින් සබරගමුව මායා රටට අයත් විය. මෙයට කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක දෙක අයත්ය.
රත්නපුර දිස්ත්‍රික්කයට කෝරළ හතක් අයත් ය. එනම්,
• කුරුවිට කෝරළය
• නවදුන් කෝරළය
• අටකලන් කෝරළය
• කඩවත කෝරළය
• මැද කෝරළය
• කොළොන්න කෝරළය
• කුකුළු (දිග්ගම්පත) කෝරළය
කුරුවිට කෝරළය
මේ අතරින් රත්නපුර දිස්ත්‍රක්කයේ ප්‍රධානතම කෝරළය කුරුවිට කෝරළයයි. මේ කෝරළයෙහි ශිලා ලිපි හයක්, තඹ සන්නස් එකොළහක්, තුඩපත් ආදී ඓතිහාසික ලිපි විසි දෙකක්, පැරණි පූජනීය ස්ථාන පහලොහක්, පැරණි ගල් ගුහා තෙලසක් ආදී ඓතිහාසික වටිනාකම් රැසක් ඇති බව පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමියන්ගේ "සපරගමු දර්ශන" කෘතියේ දැක්වෙයි.
සබරගමු පළාතේ සමහර ගම් නම් ලංකාව පුරා ප්‍රසිද්ධියට පත් විය. ඊට එක් හේතුවක් වූයේ ඒ නම්, 'නම් පොතේ' හෙවත් 'විහාර අස්නෙහි' ඇතුලත් වීමයි. මහනුවර සමයෙහි පන්සල ඇසුරෙන් අධ්‍යාපනය ලැබූවන් අතට කියවීමට මුලින් ම ලැබුණු පොත 'නම් පොතයි'. මේ 'නම් පොත' සති පිරිත් දේශනාවලදී 'දොරකඩ අස්න' කියවා දේවාරාධනාව කරන විට කියවන ලදී. 'නම් පොතේ' එන විහාර හා දේවාල පිහිටි ස්ථාන 267 න් 46ක්ම ඇතුලත් වන්නේ සබරගමු පළාතට යි. 'නම් පොතේ' එන විහාරාරාම අතරට කෑගලු දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 35ක් ද, රත්නපුර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 11ක් ද වෙයි. ඒ විහාරස්ථාන 46 ඒ ඒ කෝරළවලටත්, පත්තුවලටත් බෙදා වෙන් කර ඇත. මෙයින් කුරුවිට කෝරළයට අයත් ස්ථාන තුනකි. එනම්,
• දෙනගමුව
• දෙල්ගමුව
• සබරගමුව යි.
මෙහි ‘සබරගමුව' ලෙස හඳුන්වා ඇත්තේ මහ සමන් දේවාලයයි.
සිංහරාජ අඩවියේ කොටසක් සහිත මහහිමය මැද පිහිටි ශ්‍රී පාද පද්මයත් ඇතුලත් වන සේ සීමාකර ඇති මේ කෝරළයෙහි රණබට, බටදැල්ල ආදියෙන් යුත් ඕවිටිවල විශාල කුරුන් (ඇතුන්) සමූහ වශයෙන් සිටි නිසා මෙයට කුරුවිටි (කුරු + ඕවිටි) කෝරළය යන නම ලැබී තිබේ. මෙහි අගනුවර කුරුවිට (කුරු + ඕවිට) යි. මේ කෝරළය මැදින් ගලා බස්නා ගඟ කුරු ගඟයි. මෙලෙස කුරුන් සිටි ඕවිට, අද පවත්නා කුරුවිට නගරය ලෙස හඳුන්වන නගරයෙන් කිලෝමීටර් 3 – 4ක් පමණ කුරු ගඟ පහළට වන්නට පිහිටා තිබී ඇත.
අද වන විට මෙම කුරුවිට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03කට බෙදා වෙන් කර පරිපාලනය ගෙන යනු ලබයි. එනම්,
• කුරුවිට
• ඇහැලියගොඩ
• කිරිඇල්ල වේ.
මෙයින් කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ග්‍රාම නිලධාරී වසම් 39ක් අයත් වේ. එමෙන් ම කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරී වසම් 17කින් යුක්තය. මෙම කුරුවිට හා කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකම එකතු කර කුරුවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය යටතේ ග්‍රාම නිලධාරී වසම් 56කින් යුක්තව පාලනය වෙයි. කුරුවිට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 253.2කි.
කුරුවිට ප්‍රාදේශීය සභාවේ විකාශනය
වර්ෂ 1960 ගණන්වලදී කුරුවිට ගම් සභාව, ගිලීමලේ ගම් සභාව ලෙස හැඳින්වූ අතර, පසු කාලීනව කුරුවිට ගම් සභාව ලෙස නම් විය. එවකට කුරුවිට ගම් සභාවේ සභාපතිවරුන් ලෙස කටයුතු කරනු ලැබුවේ,
• ගිරිදාස මහතා
• මානියංගම මහතා
• අබේවර්ධන මහතා ය.
ගම් සභාවෙන් අනතුරුව වර්ෂ 1977න් පසුව දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටුවා ඇති අතර, ඒ කාලය තුල ප්‍රාදේශීය මණ්ඩලය ද පිහිටුවා ඇත. එහි උප කාර්යාලය කුරුවිට පිහිටුවන ලදී. එහි සභාපතිවරුන් ලෙස,
• නන්දසිරි මහතා
• පූර්ණදාස මහතා කටයුතු කර ඇත.
ඊට අමතරව මෙම කාල වකවානුවේදී ම ග්‍රාමෝදය මණ්ඩලය ද පිහිටුවිණි.
ඉන්පසු 1991 කුරුවිට ප්‍රාදේශීය සභාව පිහිට වූ අතර, එම වර්ෂයේ දී ගිලීමලේ ගම් සභාව, රත්නපුර ප්‍රාදේශීය සභාව ලෙස නම් විය.
1991 සිට මේ දක්වා පහත සඳහන් සභාපතිවරුන් සහ උප සභාපතිවරුන් යටතේ කුරුවිට ප්‍රාදේශීය සභාව පාලනය විය.
වර්ෂය |
සභාපති |
උප සභාපති |
මන්ත්‍රී සංඛ්‍යාව |
1991 |
සෙනරත් බණ්ඩාර මහතා |
ගුණරත්න මහතා |
22 |
1997 |
කේ.එම්. ගුණවර්ධන මහතා |
සිරිපාල වීරසේකර මහතා |
22 |
2002 |
සෙනරත් බණ්ඩාර මහතා |
චම්පික සේනානායක මහතා |
22 |
2006 |
සලිත කරුණාරත්න මහතා |
ප්‍රේමරත්න මල්කැකුළ මහතා |
22 |
2010 |
ප්‍රේමරත්න මල්කැකුළ මහතා |
මහේෂ් ද අල්විස් මහතා |
22 |
2018 |
ප්‍රේමරත්න මල්කැකුළ මහතා |
අනිල් ලියනගේ මහතා |
45 |
2018 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා ගරු සභාපති ලෙස ප්‍රේමරත්න මල්කැකුළ මහතා ධූරය දැරූ අතර, උප සභාපති ලෙස අනිල් ලියනගේ මහතා කටයුතු කළේය. නව මැතිවරණ ක්‍රමය යටතේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 45ක් බවට පත්ව ඇත.