කුරුවිට ප්‍රාදේශිය සභා සීමාව තුල ඇති සංචාරක ස්ථාන

 ඉරහඳපාන ඇල

කුරුවිට එරත්න මාර්ගයෙන් පැමිණ එක්නැළිගොඩින් දකුණු පසින් දිවෙන මාර්ගය ඹස්සේ කි.මී.02 පමණ දුරක් ගිය පසු ඉරහඳපානවත්තට පිවිසිය හැකිය.වත්තට ඇතුළු වු පසුව පරගල කොතෙන් උපත ලද පරගල දොළ අඩි 20ක් පමණ ගලකින් පහලට කඩා හැලේ. මෙහි ලස්සන තවදුරටත් විඳගත හැක්කේ වැසි සමයේදී ය. මෙම වත්තේ ගලක ඉරත් හඳත් කොටා තිබෙනු දැකගත හැකි අතර සමනල කන්දට ගිය ප්‍රථම මාර්ගය මේ ඔස්සේ තිබුණ බවත් එහි සළකුණක් ලෙස ඉරත් හඳත් සලකුණු කරන්නට ඇති බව ජනප්‍රවාදයේ කිය වේ.

 

එක්නැලිගොඩ වලව්ව

එක්නැලිගොඩ වලව් පරපුර සපරගමුවේ ඉපැරණි වලව් පෙලපතක්වු මොළමුරේ, වාරියගම, ඉද්දමල්ගොඩ, මඩුවන්ගල, මුත්තෙට්ටුගම, එල්ලාවල, ඇලපාත, දෙල්වල, දෙල්ගොඩ, බදුල්ලේ රඹුක්පොත හා රුවන්වැල්ලේ මීදෙණිය යන පරපුරු වලට ඉතා සමීප නෑකම් ඇත්තේය. දැරණියගල, පරපුර මෙම වලව්වේ භාරකාරත්වය ලබාගන්නා විට මෙහි හිමිකරුවාව සිටියේ, රඹුක්පොත, එක්නැලිගොඩ කුමාරිහාමි ය.
කුරුවිට එරත්න මාර්ගයේ කි.මී 01 ක් පමණ ගිය විට වම් පසින් ගොඩැල්ලක් මත මෙය පිහිටා තිබේ. මෙය වාස්තු විද්‍යාත්මකව අතිශය වැදගත් ස්මාරකයක් ලෙස සැලකිය හැකිය. එසේම 1 වැනි පැරකුම්බා රජු ප්‍රථමයෙන් ඉදි කළ පඩුවස්නුවර රජ ගෙදර ආකෘතියට මෙම වලව්වේ සැලැස්ම ඉතා සමාන බව පුරා විද්‍යාත්මක මතයයි. මෙහි බිත්ති කළුගල් සක්ක බැම්මෙන් නිමවා ඇති අතර, බඔර පැණියෙන් ඇනූ හුණු බදාම කපරාරුව වශයෙන් යොදාගෙන ඇත. වහලයට ශක්තිමත් දැව යොදා සිංහල උළු සෙවිලිකර ඇති මෙම වලව්ව ශත වර්ෂ දෙකකට ආසන්න කාලයක් කුරුවිටට ප්‍රෞඩත්වයක් එක් කරමින් විරාජමානව පවතී.
ආලින්දයේ එක් කොටසකුත් පිටුපස මුළුතැන්ගෙයි ප්‍රදේශයත් හැර ඉතිරි සියළු කොටස්වල සතරැස් බිම් ගඩොල් අතුරා තිබේ. මේ ක්‍රමයේ බිම් ගඩොල් , ඕලන්දයේ ඉපැරණි ගෘහ නිර්මාණ කටයුතු සදහා යොදා ගෙන තිබීම අනුව මේ ක්‍රමය ලක්දිවට ඕලන්ද ආභාෂයෙන් ජනිත වුවක් දැයි අනුමාන කරතත් ,පැරණි විහාර දේවාල සහ වලව් වැනි ස්ථානවල මෙවැනි බිම් ගඩොල් අල්ලා ඇති බව අමතක නොකල යුතුය. මේ ගඩොල් වලං මැට්ටෙන් මෙරට නිෂ්පාදනය කරන ලද ඒවා බව සඳහන් වේ.

දේදුණු ඇල්ල

කීරගල ඇල දිගේ ඉදිරියට යන විට දක්ෂ ගල් වඩුවකු විසින් කපා ඔප දමන ලද ගල් බිත්තිය හමුවේ. එහි උස අඩි 15ක් පමණ ය දිග අඩි 20ට වඩා වැඩි වේ.කීරගල ඇලේ ගමන් මාර්ගය වෙනස් කරනු පිණිස ගඟ හරහා බැඳි ගල් බිත්තියක් බඳු මෙම අපූරු නිර්මාණය විසින් පොකුණක් ද නිර්මානය කර ඇත. මෙම බිත්තියට විරුද්ධ දෙසින් දිය ඇල්ල කඩා හැලේ.මෙයට සූර්යාලෝකය වැටුනු විට දේදුන්නක් වැනි නිසා මෙම ඇල්ලට දේදුණු ඇල්ල යැයි කියනු ලැබේ.

දොඩං ඇල්ල

 

නිල්මලී ඇල්ල

බෝපත් ඇල්ලට මදක් ඉහළින් කඩාහැලෙන නිල්මලී ඇල්ල බෝපත් ඇල්ලේ ඉහල කොටස ලෙස ද හඳුන්වා දිය හැකි ය. කුරුවිට දෙවිපහල පාරේ ... පමණ යන විට තේ වත්ත මැදින් යන මාර්ගයෙන් නිල්මලී ඇල්ලට පිවිසිය හැකිය. විශාල ගල්තලාවක් මතින් කඩාහැලෙන මෙම දියඇල්ල අඩි දෙක තුනත් පහලට කඩා වැටී අඩි 50 පමණ දුරක් ඇඹරෙමින්විත් දකුණට බරව ගලා එයි.එයින් වංගු ගැසී වේගයෙන් ගලා එයි.මෙම ඇල්ලට නිල්මලී නම් නම සෑදී ඇත්තේ නිල්මලී නම් තරුණියක් දියේ ගිලී මැරී ඇති නිසාවෙන් බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

බටදොඹ ලෙන

අතීතයේ සැඟවුණු පොසිලමය සාධක හංගා ගත් බටදොබලෙන බෙන්වල මූකලාන මැද තවමත් නිරුපද්‍රිතව පිහිටා තිබේ.වහලය වූ ගල් තලාව ඔස්සේ ගලා විත් මල් වැස්සක් මෙන් පහළට වැටෙන්නේ සෞන්දර්යාත්මක චිත්‍රයක් ලෙසිනි.
බටදොඹ ලෙන ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට පිහිටි, මෙරට ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ සාධක හමුවන පුරාවිද්‍යා ස්ථානයක් වේ. මීට වසර 40,000 කට‌ පෙර විසූ ආදී මානවයින් පිළිබඳ සාධක රාශියක්‌ මෙම ස්ථානයෙන් වාර්තා වී තිබේ.
බටදොඹ ලෙනෙහි කැණීම් ප්‍රථම වරට 1937 වර්ෂයේදී ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා විසින් ආරම්භ කරනු ලැබූ අතර පසුකාලීනව 1980 සමයේ ආචාර්ය ශිරාන් දැරණිගල හා ආචාර්ය ඩබ්.එම්. විජයපාල යන පුරාවිද්‍යාඥයන් විසින්ද මෙහි කැණීම් කටයුතු සිදු කරන ලදී. වසර විසිනව දාහකට කලින් මේ ගල් ලෙනේ ආදී මානවයන් සිය ගණනක් ලෙනේ ආදී මානවයන් සිය ගණනක් වාසය කළහ මානවයා ගේ ජනාවාසයේ කණින ලද සුළු බිම් කොටසක් දක්නට ලැබේ ඒ තුළ මියගිය මානවයාගේ ඇටසැකිලි ආහාර කොට ගත් මෝර ව්‍යාඝ්‍ර සතුන්ගේ දත් හා අස්ථි ආදිය ගැනීමෙන් පසු හමු වී තිබේ. එසේම කැකුණ ඇට මෙන්ම ගල් උපකරණ රාශියක්ද පොළෝ ගැබේ හැංගි තිබී හමුවී ඇත.
බටදොඹලෙන ලෙන් තුනකින් සමන්විතය.මෙහි විශාල ලෙනේ දොර දොරේ දිග අඩි 37 කි උස අඩි 25 කි
ලෙන ආශ්‍රිතව සිදුකල කැණීම් තුළින් මෙරට මධ්‍යශිලා යුගයේ මානව ඇටසැකිලි, ක්ෂුද්‍ර ශිලා මෙවලම් හා දඩයම් කල සතුන්ගේ සාධක කොටස් ආදිය හමුව තිබෙන අතර ආචාර්ය ශිරාන් දැරණියගල විසින් 1980-1984 සමයේ සිදුකල කැණීම් වලදී මෙහි තිබී මෝර දත් හමුවී තිබේ.
බටදොඹලෙනෙහි දළ වශයෙන් අවුරුදු 28,500ක් විතර පරණ පස් තට්ටුවෙන් හමුවුණු බෙලිකටු පබළුව ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයෙන් හමුවන පැරණිම පළඳනාව විදිහට සැලකේ. තනි කට්ටක් තියෙන මුහුදු බෙල්ලෙකුගේ ඉහළ කෙලවර කොටසකින් ක්‍රමවත්ව ඉවත් කළ වටකුරු කටු කෑල්ලකින් මේ පබළුව සාදා තිබේ. මිලිමීටර් 13.7×15.3×1.5 ප්‍රමාණයේ මේ පබළුව දුඹුරු රතුවන් පාට වන අතර දෙපසින්ම සියුම්ව විද මැද සිදුර සාදා ඇත. මේවා ඉන්දියාව වගේම වෙනත් රටවලින් ලැබෙන මධ්‍යශිලා පබළුවලට වඩා පැරණි අතර එය බලංගොඩ මානවයාගේ නිර්මාණයක් ලෙස සැලකේ.

 

බෝපත් ඇල්ල

බෝපත් ඇල්ල පිහිටා තිබෙන්නේ කුරුවිට ප්‍රදේශයේ අඟලවත්ත නම් ගමේය. මෙයට බෝපත් ඇල්ල නම් නම ලැබී ඇත්තේ මෙයටම ආවේණික වූ හැඩය නිසාය. පටු විවරයකින් කඩා හැලෙන පළමු දියකඳ පසුව පුළුල් වන අතර මෙය බැලූ බැල්මට බෝපත්‍රයක හැඩය සිහියට නංවයි. හුදෙක් බෝගස බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත්වූ වෘක්ෂයකි. එහෙයින් මෙම ඇල්ලටද එම පූජනීයත්වයම හිමිවී ඇත. දිය ඇල්ල ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ නෑඹුල් වනයකින් වැසී පවතී.
බෝපත් ඇල්ල උසින් මීටර් 30ක් පමණ වේ. කළු ගඟේ අතු ගංගාවක් වන කුරු ගඟෙන් මෙම දිය ඇල්ල පෝෂණය වේ. මෙම දිය ඇල්ල ගලා වැටීමේ සීඝ්‍රතාව තත්පරයට ඝන මීටර් හයක් පමණ වන අතර වර්ෂයකට සාමාන්‍ය වර්ෂාපතනය මි.මී 5080 පමණ වේ.මෙම දිය ඇල්ලේ ජලය වී ගොවිතැන සඳහා යොදා ගැනේ. මෙම ගඟ කුරුවිට නගරයට මීටර් තුනහමාරක් පමණ දුරින් පිහිටි කීරගල ප්‍රදේශයේදී අඩි 500 ක් 150ක දළ බෑවුමක් ඔස්සේ ගමන් කොට දර්ශනීය දිය ඇල්ලක් මවයි.
එන පුරාවෘත්ත අනුව රටේ පුරාතන පාලකයන් ස්නානයට දිය ඇල්ල භාවිතා කල බවත්, ඒ අතරතුර මහ සමන් දේවලය වැඳ පුදා ගත් බවත් කියවේ. තවද මෙහි සමන් දෙවියන්ගේ ඇල්ම බැල්ම පවතින ප්‍රදේශයක් ලෙස හැඳින්වේ. එවැනි පුරාවෘත අතර මිත්‍යා විශ්වාසද පවතී. පෙම්වතා අත්හල ගැමි තරුණියක දිය ඇල්ලට පැන දිවිනස ගෙන ඇති අතර ඇයගේ ආත්මය දිය ඇල්ල අවට සැරිසරන බව එක් විශ්වසයකි. තවත් සුප්‍රසිද්ධ විස්වාසයක් වන්නේ පුරාණ නිධානයක් මෙම දිය ඇල්ල තුල සඟවා ඇති බවත් එය ලබා ගැනීමට මිනිස් ජීවිත 1000ක් බිලි දිය යුතු බවත්ය.
මෙම ගංගාව ළඳු කැලෑ අකුල් හා වැලිතලා අතරින් ගලා බස්නා අතර, ගලෙන් රූරා වැටෙනා කඳුරු ඇලි තුනකින් ඔපවත් වන නිසා කා‍ගේත් ගත සිත සනහාලයි.
ස්නානයට මෙන්ම විනෝද චාරිකා සඳහාද මෙම ස්ථානය මනස්කාන්ත දර්ශනයකි. දෙස් විදෙස් සංචාරකයින්ගේද ජනප්‍රිය විනෝද ස්ථානයක් වන මෙය සංචාරක මණ්ඩලය මඟින් විදෙස් සංචාරකයින්ගේ අවධානයට වැඩි වශයෙන් යොමු කිරීමට ද වැඩ පිළිවෙලක් සකස් කර ඇත.

 

මනං ඇල්ල

කොළඹ -රත්නපුර ප්‍රධාන මාර්ගයෙන් ඇහැළියගොඩ නගරය කිට්ටුව ඇති බදුවත්ත හන්දියේ සිට 4.5KM පමණ ඇහැළියගොඩ - ඉඩංගොඩ මාර්ගයෙන් ගොස් එල්ලාවල කජුකඩේ හන්දියෙන් දකුණු දෙසට ඇති පාරෙන් 750m පමණ ගිය පසු මනං ඇල්ලට පිවිසිය හැකි ය. සුන්දර දිය ඇල්ලක් වන මනං ඇල්ලට නම සෑදී ඇත්තේ, මනන්නා නම් පුද්ගලයකු ඇල්ල පහළට වැටී මැරුනු නිසා බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි. ඇල්ල අඩි 200 පමණ උස අතර කොටස් 03කට පහළට ගලා හැලේ.

 

රත්මල් ඇල්ල

කුරුගඟේ ප්‍රධානම අතු ගංඟාව වන කීරගල ඇල ද සෞන්දර්යෙන් අගතැන්පත් ය. දෙනිත්ත කන්දෙන් ඉපිද කි.මී.ගණනාවක් ගමන් කරන කීරගල ඇල රත්මල් ඇල්ල නැමැති අපූරු නිර්මාණයක් හංගාගෙන සිටි. කුරුවිට ප්‍රාදේශීය සභාව අසලින් බෝපත් ඇල්ලට යන මගෙහි ඉදිරියට යන විට රත්මල් ඇල්ල හමුවේ. ඒ අනුව කුරුවිට - දෙවිපහල ප්‍රධාන මාර්ගයේ කි.මී. ... පමණ ගොස් බෝපත් සමාධි ධර්මායතනය අසලින් මීටර් 200 පමණ ගොස් රබර් ස්ටෝරුව අසලින් දකුණු දෙසට ඇති පාරෙන් මීටර් 500 ගිය විට රත්මල් ඇල්ල හමුවේ.පළලින් වැඩි උසින් අඩු මේ ඇල්ලට රත්මල් යන නම ලැබෙනුයේ අතීතයේ මෙම ප්‍රදේශය සුද්දෙකුට අයත්ව තිබී ඇති අතර එකල මෙහි රත්මල් වවා තිබූ හෙයිනි. එහි උස ප්‍රමාණය අඩි 10කට සීමා වුවත් නෙත් පුබුදුවන සුළු අලංකාරයකින් විශාල ජල ප්‍රමාණයක් පහළට ඇද හැලේ.

 

රාජසිංහ රජ්ජුරුවෝ දිය නෑ වල

අඟුරුපිච්චි ඇලත් ,සූදාගල ඇලත් දෙකම වනාන්තරය මැදින් ගාගෙන විත් එකම පැත්තකට එකතු වේ. එය අතිශයින්ම සොදුරු විලකි.දියදලු කඩා හැලෙන හඬ,තුරුපත් සෙලවෙන හඬට කන්කලු ගී හඬක් මේ ප්‍රදේශයට ඇතුළුවන අයෙකුගේ සවනත වැකේ.මෙය සොඳුරු නිමැවුමකි.තව ද වම්පසින් ගලා එන දොළ පහරින් මතුවන විල් අතරින් සිහින් දියපාරක් ගලා එයි. එය බිසෝ නෑ වලයි. අතීතයේ ඇහැළේපොළ නිලමේතුමා බිසෝවරු සමඟවිත් මෙහි දිය නෑ බවත් ශ්‍රී විකුම රාජසිංහ රජු එක්නැලිගොඩ වලව්වට පැමිණි වෙලාවට වෙස්වලාගෙන විත් මෙම විලෙන් දිය නෑ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. අඩි 20ක් පමණ මෙය ගැඹුරු බැවින් ප්‍රවේශමෙන් දිය නෑ යුතු වේ.

 

ලස්සරාජවල

කුරුවිට එරත්න මාර්ගයේ කි.මී. 05 පමණ විත් සූදාගල තැපැල් කාර්යාලය අසලින් වැටීඇති අඩි පාරේ මීටර් 350ක් පමණ ගිය පසු ලස්සරාජවල දැකගත හැකිය. මිල්ලගහ ඇල කුරුගඟට වතුර ගෙනෙන අතු ගංඟාවකි. කුරුවිට ප්‍රදේශයේ වු හරිත වනවියන් අතරින් හීන්තුරේ ගමනක යෙදෙන මිල්ලගහ ඇල අඩි 10ක් පමණ පහළට කඩා හැලේ. පසුව අක්කර ¼ තරම් වූ පොකුණක නතර වේ.මෙම පොකුණට ලස්සරාජවල යන නම තබා තිබේ.වල මැදට ගිය විට පුංචි දිය ඇල්ලක් පෙනෙන්නේ රිදී සේලයක් සේ ය. ඊට මදක් ඉහලින් පෙනෙන පාලම සෞන්දර්යට බාධාවක් සේ පෙනුනද මේ ප්‍රදේශයේ වෙසෙන ජනතාවට එය පහසුවකි.

සුදාගල ඇල්ල